කතාවක්

Engineer, Tech Lead and Technopreneur

එය එක් සන්ද්‍යාවකි. දෙහිවල මාර්ගයක් අසල මාගේ වාහනය හරස් කොට තවත් වාහනයක් නවතා තිබුනි. මට එදින ඉක්මනින් ගෙදර යාමට වූ බැවින් වාහනය හරස් කොට නවතා ඇති වාහනයේ අයිතිකරු සෙවීමට පටන් ගතිමි.

“ඔය වාහනය මේකේ නාට්‍යය බලන්න ආ කෙනෙක් ගේ වාහනයක්, ඕක ගන්න ඕනි නම් උඩ තට්ටුවට ගිහින්, අහන්න වෙයි” එතැන සිටින ආරක්ෂක නිලධාරියා මට කීවේය.

මම හනික උඩතට්ටුවට දිව ගියෙමි. එහි දොරක් යාන්තමට විවර වූ තිබූ බැවින් එයින් ඇතුලු වීමි. එය ඉතා අදුරුය. මිනිසුන් රාශියක් පුටු වල වාඩි වී සිටියෝය. එවිටය මට වැටහුනේ මම ඇවිත් ඇත්තේ නාට්‍යය ශාලාවකට බවය. වේදිකාව අදුරුය කවුරුවත් වේදිකාවේ නොවීය.

“දැන් වාහනේ අයිතිකරු මේ මිනිසුන් අතර කොහොම හොයන්නද?” මම මටම කියා ගතිමි. මම නැවත නාට්‍යය ශාලාවෙන් ඉවතට පැමිනියේ තරහිනි.

එලියේ මිනිසෙක් විය.

“මගේ වාහනය හරස් කර තව වාහනයක් නවත්වලා, මට දැන් ඒක ගන්න බැහැ. මට යන්න හදිස්සියි.” මම එම මිනිසාට කීවෙමි.

“දැන් මේකේ නාට්‍යයක් යනවා, වාහනය ගන්න ඕනි නම් වේදිකාවට ගිහින් කියන්න වෙයි” ඒ මිනිසා කීවේය.

“මම ඒක කරන්නනෙ කොහොමද?” මම ඇසුවෙමි.

“මෙන්න මෙතනින් ඇතුලට යන්න, එතන නාට්‍යය කරන අය ඉන්නවා. ඒ අයට කියන්න”

මම ඔහු කියූ පරිදි තවත් කාමරයකට ඇතුලු වූයෙමි.

දුටු දෙයින් මට ඇස් අදහා ගත නොහැකි විය. එහි සිටියේ විජය නන්දසිරි හා තවත් ප්‍රසිද්ධ නලු පිරිසකි. විජය නන්නසිරි සිවුරක් ඇදගෙන බොරු තට්ටයක් දමමින් සිටියේය. මම ඔහු වෙත ගියෙමි.

“අංකල්, මගේ කාර් එක හරස් කරලා තව වාහනයක් ගහලා, ඒක කරලා තියෙන්නේ නාට්‍යය බලන්න ආ කෙනෙක්,  මට දැන් ඒක ගන්න ඕනි, ඒක කියන්න පුලුවන් වෙයිද?” මම ඔහුගෙන් ඇසුවෙමි.

විජය නන්දසිරි මා වෙත හැරුනේ ඔහුගේ සුපුරුදු සිනාවත් සමගය.

“දැන් නාට්‍යයක් යනවනේ පුතා, දැන් කරන්න දෙයක් නැහැ. හොද පුතා වගේ ගිහින්, දැන් ඉතින් නාට්‍යය බලන්නකෝ” ඔහු ඔහුගේ සුපුරුදු රටාවෙන්ම පැවසීය.

කරකියා ගැනීමට දෙයක් නොමැති වූ මම නාට්‍යය ශාලාවේ හිස් පුටුවක් හොයාගෙන ගොස් නොමිලේම නාට්‍යය බැලීමි. එය මම මෙතෙක් වේදිකාවක නරබා ඇති හාස්‍යජනකම නාට්‍යය. මගේ විඩාව, තරහව සම්පූර්ණයෙන් ම නිවී ගියේය. අවසානයේ මම ශාලාවෙන් එලියට පැමිණියේ එය මගේ ජීවිතයේ මට සිදුවූ තවත් හොද සිදුවීමක් ලෙසය. එය ‘බල්ලොත් එක්ක බෑ” නාට්‍යය බව දැන ගත්තේ පසුවය. නැවතත් එම නාට්‍යය බලන්නට  ලොකු ආශාවක් වීය.

ඒ මම විජය නන්දසිරි මහතා සැබහින් දුටු එකම හා අවසාන අවස්ථාව බව සිතෙන විට දැනෙන්නේ ලොකු දුකකි. ඔහුගේ නාට්‍යය, චිත්‍රපට බලා සිනා වූ වාර ගනන අනේකය. විජය නන්දසිරි මහතානෙනි ඔබට නිවන් සුව ලැබේවා!

 

wijayananda

 

1,105 total views, 2 views today

 

Feel Free to ask questions and share your thoughts